ජනමාධ්‍ය, සාහිත්‍ය, කලාව හා සංගීතය යන ක්ෂේත්‍රවල පෙන්වන සුවිශිෂ්ඨ මැදිහත් වීම් හා කුසලතා උදෙසා පිරිනමන සුප්‍රසිද්ධ පුලිට්සර් සම්මානය මෙවර හිමි වූයේ සාමාන්‍ය තරුණියකටයි. ඇය ඩානෙල්ලා ෆ්‍රේසියර්.

ඇය සාමාන්‍ය තරුණියකැයි අප කීවේ ඇය ජනමාධ්‍යවේදිනියක්, සාහිත්‍යවේදිනියක්, කලාකාරිනියක් හෝ සංගීතවේදිනියක් නොවන නිසයි.

මේ සුවිශේෂි සම්මානය දිනා ගැනීමට ඇය ඉටු කළ විශිෂ්ඨ මෙහෙවර කුමක්ද?

2020 මැයි 25 වනදා ඇමරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියා පොලිස්හීදී මයිකල් ෂෝවින් නම් සුදු ජාතික පොලිස් නිලධාරියා විසින් සිය දණහිසට ගෙල සිරකර ජෝරජ් ෆ්ලොයිඩ් නම් කලු ජාතික ඇමරිකානුවාව ඝාතනය කරන අයුරු තම ජංගම දුරකථනයෙන් රූපගත කර, එය ලෝකයට පෙන්වීමයි ඈ සිදු කළ සුවිශිෂ්ඨ මෙහෙවර.

මේ දහ අට හැවිරිදි යව්වනියට තම දෑස් ඉදිරියේ දිග හැරෙන මේ කෘර ක්‍රියාව නතර කර ගැනීමට හැකියාවක් නොතිබුණද, භීතියෙන් පළායනු වෙනුවට ඒ දර්ශනය රූගත කර, ඇසින් දුටු සාක්ෂිය සටහන් කරගත්තාය. පුලිට්සර් සම්මාන හේතු පාඨයේ මෙසේ සදහන් වේ.

යුක්තිය සාධාරණය උදෙසා තමා සතු වගකීම ජනමාධ්‍ය ඉදිරියේ මොනවට විදහා පෑ අවස්ථාවක්.

ඩානෙල්ලා  ෆ්‍රේසියර් ඇගේ අත්දැකීම ගැන තබා තිබුණ සටහනක් ඒ කුරිරු දර්ශනය ඇගේ ජීවිතය කෙරෙහි බලපෑ ආකාරය අපට අනාවරණය කරනවා.

මට හුස්ම ගන්න බෑ කියමින් මිය ගිය ඒ කළු මිනිසා කව්දැයි කියා මා දැන සිටියේ නෑ. නමුත් මට දැනුණා ඔහුගේ ජීවිතයේ පැවති තීරණාත්මක අගය. ඇත්තටම ඒ බියකරු දර්ශනය එතෙක් මා සතු වූ ලෝක දැක්ම වෙනස් කළා. ඇමරිකාව තුළ කළු ජාතිකයෙකුව ඉපදීම කොතරම් භයානකදැයි මට පසක් වුණා.

ඒ සුදු පොලිස් නිලධාරියා මගේ විරෝධතාව නොතකා හදවතක් නැති සීතල බැල්මක් හෙළුවා. ඇත්තටම මට දින ගණනාවක් නින්ද ගියේ නෑ. ඔහුව මරණයෙන් ගලවා ගැනීමට නොහැකි වීම ගැන මට මා ගැනම විශාල දුකක් ඇති වුණා.  ෆ්ලොයිඩ් ගැන සිතෙන හැම විටම මට මගේ පියා, සහෝදරයින්, නෑදෑයින් සිහිවෙනවා. ඔවුන් සියළු දෙනා කළු ජාතිකයින්. එදා එසේ මරණයට පත් විය හැක්කේ ඔවුන්ගෙන් කෙනෙක් නේද කියන බියකරු හැගීම මට දැනෙනවා.

ඩානෙල්ලා ෆ්‍රේසියර් නම් යව්වනිය තම ඓතිහාසික වීඩියෝව මගින් දිගින් දිගටම කළු ජනතාවට එරෙහිව සිදුවන මෙවන් අපරාධවලට එරෙහිව කළු ජීවිත වටී ව්‍යාපාරයට ශක්තියක් දුන් අතරම, ෆ්ලොයිඩ් ඝාතකයාට දඩුවම් දීමට අවශ්‍ය සාක්ෂිය ද සැපයුවාය.

ඝාතකයාගේ සපත්තුවේ තිබූ කැමරාවේ පටිගත වී ඇති ෆ්ලොයිඩ් ගේ වචන ඔහුගේ අවසන් මොහොතේ ඔහු තම ආදරණීයයන් සිහිපත් කළ අයුරු අනුවේදනීය ලෙස සටහන්ව තිබෙනවා.

අම්මේ.. මුං මාව මරන්නයි හදන්නේ.. මං ඔයාට ආදරෙයි.. අම්මේ මගේ දරුවන්ට කියන්න මම එයාලට ආදරේ බව...

ඩානෙලාගේ මේ මැදිහත් වීම ස්ත්‍රීත්වයේ ශක්තිය සේම වත්මන් යව්වනයට කළ හැකි දේ ගැනද අපට පෙන්වා දෙයි.

Jesustoday.lk 5 වන වසර 17 වන සතිය 2021 ජුනි 27 වන ඉරිදා

Comments powered by CComment