තුන්වෙනි මිනිහත් දාලා ගිය අසල්වැසි සමරිතානු ස්ත්‍රී රාණි නම් ප්‍රශ්නයක් නෙමෙයි දංකුඩත් බෙදාගන්න හැකියි ඒකිටයි මටයි

 

ඉතිං ආයෙමත් දෙසැම්බරයක්

අතුගාන රස්සාවෙනුත්
ගෑනු තුන් දෙනෙක්වම දොට්ට දැම්මා
මාත් එක්කලා
සුද්දෝ තියා කලු සුද්දෝවන්
නෑ හෝටලේ
හේදිලා ගිහිං සීසන් එක

දේව දූතයෙක් මංගලම් නොකිව
මරියා කෙනෙකුගේ බඩේ ඉපදිලා
මේ ලෝකට ආවාට පස්සේ
වේලක් දෙවේලක් දීලා
උස් මහත් කරපු පුංචටයි බාප්පටයි
සරමක් බැනිමයක් ගවුම් රෙද්දක්
පොඩි එකාට සූට් එකක්
ලොකු ඒකිට ගවුමක්
අවුරුද්දකට සැරයක් ඉටුකරන
යුතු යුතුකමුත් බරකි ය.

කේක් නම් අදාලම නෑ
දවල් බතට අල බැදුමක්
කුකුල් මස් ටිකක් තිබුණොත් මදැයි

එන්න කියලා නෑයෙක්
නැති එක හොඳයි
තුන්වෙනි මිනිහත් දාලා ගිය
අසල්වැසි සමරිතානු ස්ත්‍රී
රාණි නම් ප්‍රශ්නයක් නෙමෙයි
දංකුඩත් බෙදාගන්න හැකියි
ඒකිටයි මටයි

කන්වැන්දුම් උනාට පස්සේ
නත්තලේ බර අඩුයි
මිනිහටයි එයාගේ
බේබදු ශ්‍රාවකයින්ටයි
නත්තල් රාත්‍රී භෝජනේට
බයිට් හදලා බයිට් වෙලා
හෙම්බත් වෙන්න ඕනි නෑ

පල්ලියට නොගියාට නත්තලට
ඔරසමක් කියනවා හැමදාම
ශරීරය නොවිකුණා දෙන ගේම
ඉදිරියට ගෙනියන්න පෙර සේම

 

Comments powered by CComment