අපග‍ේ අභ්‍යන්තර ජීවිතය අපගේ ම ලාභ ප්‍රයෝජන සැලකිලි මත එල්බ ගත් කල අන්‍යයන් වෙනුවෙන් එහි ඉඩක් නැති වේ; දුප්පතුනට එහි තැනක් නොමැති වේ. දෙවියන් වහන්සේ ගේ හඬ තව දුරටත් නෑසී යයි. උන්වහන්සේ ගේ ප්‍රේමයේ ආනන්දය තව දුරටත් නොදැනී යයි. යහපත කිරීමට ඇති අභිලාශය මැලැවී යයි. ”

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය Evangelii Gaudium විශ්ව ලේඛනයේ එසේ කීවේය.

”ස්වකීය පිරිපුන් බවට සමාජ කණ්ඩායම් සහ තනි පුද්ගලයන් යොමු කරන්නේ පොදු යහපත” යයි දෙවන වතිකාන කතිකාව ප්‍රකාශ කරයි.

මේ පණිවිඩ වලින් කියවෙන්නේ කතෝලික සමාජ ඉගැන්වීම පිළිබඳව ය.

කතෝලික සමාජ චින්තනය පැනනගින්නේ දේව පනත තුළින් ම ය. එනම් ” ඔබගේ මුළු හදවතින් ද මුළු සිතින් ද, මුළු ආත්මයෙන් ද ඔබගේ දෙවියන් වහන්සේ ට වන්දනා කරනු; එසේ ම ඔබට මෙන් ඔබගේ සහෝදරයාට ද ප්‍රේම කරනු” යන්නෙනි. මේ එකම පනතේ කොටස් දෙකකි. එකක් ඉටු කර අනෙකින් බැහැර විය නොහැකිය.

මෙහි එන පළමුවන කොටස ඉතා පහසු ය. කතෝලික සභාව සෑම කතෝලිකයකුම කුඩා කල සිට පුරුදු පුහුණු කරන්නේ එයට ය. මේ නිසා ඉරිදා පූජාව වැරැද්දීම වැනි අතිශය වැදගත් දේ සේ ම දහම් පාසල් වලට සහභාගී නොවීම වැනි දේ ද ”පාප” ලෙස විශ්වාසිකයන් ගේ සිත් තුළ පැලපදියම් කරන්නට මහත් පරිශ්‍රමයක් දැරේ.

එහෙත් එකිනෙකින් වෙන් කල නොහැකි දෙවන කොටස, එනම් ඔබට මෙන් ඔබගේ අසල්වැසියාට ද ප්‍රේම කරනු යන්න ගැන කිසිදු සැලකිල්ලක් නැත.

ඉරිදාට විශ්වාසිකයන් ගෙන් පල්ලි පිරී යන අතර සෑම රාත්‍රියකම හිස් වූ කුසෙන් නින්දට යන ජනතාවක් අපේ සමාජයේ ඉතිරි වන්නේ ඒ නිසාය. හැම මංගල්‍යයකට ම අපේ පල්ලි වැඩි වැඩියෙන් ප්‍රතිසංස්කරණය වෙමින් අත්‍යලංකාර වන අතර ඉන්න හිටින්නට සරල ගෙයක් හෝ නොමැති ජනතාවක් සිටින්නේ ඒ නිසාය.

ගෙයක් දොරක් නැති බොහෝ දෙනෙක් ජීවත් වන අතර අපේ මීසම් වල දහම් පාසල් ගොඩනැගිලි, අසවල් ගොඩනැගිලි, තාප්ප ඉදිවන්නේත් , පයට පෑගෙන පල්ලියේ පොළොවට වීදුරු වැනි ටයිල් අල්ලන්නෙත් ඒ නිසාය. අපේ රටේ අපේම බිමේ උපන් උතුරේ ජනයා සහ මුස්ලිම් වැනි සහෝදර ජනතාවට පහර දෙනු ලබන විට එක්කෝ අප උදාසීනව සිටින්නේ, නැති නම් ආත්මාර්ථකාමී සතුටක් භුක්ති විඳින්නේ ඒ නිසාය.

අපේ වනාන්තර කපා දමන විට, සංවර්ධනයේ නාමයෙන් අපේ සාගරය ඇතුළු සමස්ත සොබා දහම විනාශ කරන විට, මෙහි ආදීනව ලෙස අපේ බස්නාහිර මුහුදු බඩ වෙරළ තීරය මුහුදු ඛාදනයට ලක්වන විට අප වගේ වගක් නොමැතිව සිටින්නේ එනිසාය.

අපගේ ජීවන රටාව එසේ වූවත්, කතෝලික සභාව මේ ප්‍රේමයේ සහ සංවේදී බවේ දේව ධර්මය නිල මට්ටමින් ම උගන්වයි. එය හැඳින්වෙන්නේ කතෝලික සමාජ ධර්මය යනුවෙනි

13 වන ලියෝ පාප් වහන්සේ ”වෙහෙසෙන මිනිසුන්” විශ්ව ප්‍රකාශනය නිකුත් කරමින් ඊට මුල පිරුවේය. එතැන් සිට මේ දක්වා සමාජ විශ්ව ලේඛන 14ක් පාප්වහන්සේලා විසින් නිකුත් කරනු ලැබ තිබේ. ඒවා කතෝලික සමාජ ධර්මය අන්තර් ගත අනර්ඝ නිධාන වැන්න. ඒවායේ අලුත්ම පුරුක් දෙක ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා ගේ “වේ ප්‍රශංසා” සහ “ අපි ඔක්කොම නෑදෑයෝ “ විශ්වලේඛන දෙකයි.

ලෝකයේ බොහෝ ප්‍රදේශ වල, විශේෂයෙන් ම අපගේ රට වැනි දුප්පත් කම, පරිසර විනාශය, ඒකාධිපති වාදය, මානව හිමිකම් උල්ලංඝනය වීම්, වැනි විවිධ දේශපාලනික, සමාජ ආර්ථික ගැටළු සහිත රටවල කතෝලිකයෝ කතෝලික සමාජ ධර්මය එම අර්බුද වලට විසඳූම් සෙවීමේ ආලෝකයක් ලෙස සලකා ක්‍රියා කරති.

එහෙත් ශ්‍රී ලාංකේය කතෝලික සභාව තුළ කතෝලික සමාජ ධර්මය ඉගැන්වීමට හෝ ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට කිසිදු උත්සාහයක් ගෙන තිබෙන බවක් පෙනෙන්නට නැත. සභාව බරව පවතින්නේ හුදෙක් භක්තියට සහ වත් පිළිවෙත්වලට පමණකි. විශේෂයෙන් ජනවන්දනාවෙන් ඉස්මතු වන ප්‍රේමය ජීවත් කිරීමට කෙනෙකුට අනුප්‍රාණය ලබා දෙන සමාජ ධර්මය ජීවත්කරවීමේ උත්සාහයක් පෙනෙන්නට නොමැත. ඒ ගැන සංවාදයක් හෝ කතා බහ කිරීමක් හෝ ඉගැන්වීමක් හෝ දක්නට නොලැබේ.

කතෝලික ප්‍රකාශන තිබුනත් ඒවා ද දේව පනතින් පැන නගින කතෝලික සමාජ ධර්මය ගැන කිසිවක් කතා නොකරයි. ඒවා වෙන්වී ඇත්තේ රදගුරු හිමිවරුන් ගේ නිවේදන, බැහැදැකීම්, දේවස්ථානවල මංගල්ල, පුද්ගලාභිධාන වැනි බාහිර දේවලට පමණි. දහම ජීවත් කිරීම ගැන උණක් සහිතව තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් හෝ එකමුතු වී කතෝලික සමාජ මාධ්‍ය පවත්වාගෙන යාමට උනන්දුවෙන් ක්‍රියා කරනිටෙක් සැවි’ යොවුන් පිරිස ද මේ ගැන දැනීමක් නොමැති නිසා හුදෙක් වත් පිළිවෙත්, ප්‍රාතිහාර්ය, භක්තිය වැනි දේට පමණක් සීමා වී ඇති බව පෙනෙන්නට තිබේ.

මේ ඇසුරින් කල්පනා කල විට න්‍ැිමිඑදා්හගකන විසින් ඉටු කරනු ලබන්නේ එම සමාජ-ආධ්‍යාත්මික කාර්ය භාරය ය, පුරවනු ලබන්නේ එම දැවැන්ත හිස්තැන ය යන්න මගේ අදහසයි.

මෙම වෙබ් අඩවියේ පළවන පුවත්, විශේෂාංග ලිපි සහ විශ්ලේෂණ වල හරය කතෝලික සමාජ දර්ශනයයි.

නූතන දේශපාලන සමාජ ආර්ථික වාතාවරණය තුළ පෑගෙන, තැලෙන, පීඩනයට පත්වන මිනිසුන් ගැහැණුන් සහ ළමයින් ගැන, එනම් මානව සහෝදර සහෝදරියන් ගැන, න්‍ැිමිඑදා්හ කතා කරයි. දේව මැවිල්ලක් වීම සහ දේව පුත්‍රයා මනුෂ්‍යත්වය ගැනීම යන ද්විත්ව හේතූන් නිසා මිනිසා තුළ ස්වභාවයෙන් ම පවතින මානව ගරුත්වයත්, එම මානව ගරුත්වය ආරක්ෂා කල යුතු ආකාරයත් මෙම ලිපි වල දක්නට ලැබේ. එසේම දේශපාලන, ආර්ථික සහ සමාජයීය බලවේග විසින් එම මානව ගරුත්වයට පහර දෙන ආකාරය ද ඊට කැළැල් කරනු ලබන ආකාරය ද එම ලිපි වලින් පැහැදිලි කෙරේ.

න්‍ැිමි ඔදා්හ දුප්පතුන් වෙනුවෙන් අනුග්‍රහාත්මක තෝරා ගැනීම ගැන කතා කිරීම සිය පත්‍රකලාවේ කැඳවීමක් කරගෙන තිබේ. මානව සහෝදරත්වය සහයෝගීතාව ගැන සාකච්ඡා කෙරෙන ලිපි වලින් ද එය සමන්විත ය. වාර්ගික වෙනස් කම් වලින් ඔබ්බට යන මානව සහෝදරත්වයක් වෙත යොමු වීමට ද එය පාඨකයාට ඇරියුම් කරයි. පවුල සහ ප්‍රේමය එහි විවෘතව සහ පුළුල්ව කතා කෙරෙන මාතෘකා දෙකකි.

මේ දිනවල එහි අවධානය යොමු වී ඇති තවත් මාතෘකාවක් වන්නේ ශ්‍රී ලංකාවේ පරිසරය, විශේෂයෙන් ම අපේ වනාන්තර ඇතුළු මානව ජීවිතයට අත්‍යවශ්‍ය සාධයක් වන පරිසර පද්ධති රැකගැනීමයි. මෙය ද කතෝලික සමාජ ධර්මයේ වැදගත් ඉගැන්වීමකි. ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා පවසන්නේ අප “අපගේ පොදු නිවහන, අපට ඇති එකම ග්‍රහලෝකය” රැක ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බව ය.

මිහිතලයේ සංරක්ෂණය ගැන ක්‍රිස්තු ධර්මයේ එන ඉගැන්වීම් පාදක කර ගනිමින් එතුමා “ප්‍රශංසා වේ” මැයින් විශ්ව ලේඛනයක් ද නිකුත් කළේය. එපමණක් නොව පරිසරය ආරක්ෂා කිරීමට ක්‍රියා කිරීම සහ ඒ වෙනුවෙන් යාච්ඥා කිරීම යන ක්‍රියා දෙක අට වැනි ආත්මික සහ ශාරීරික, පුණ්‍ය ක්‍රියාවන් ලෙස ද එතුමා ප්‍රකාශයට පත් කළේය. මෙහි අර්ථය නම් වනාන්තර, ගංගා ඇතුළු පරිසරය විනාශ කිරීම සේ ම ඒවා හමුවේ නිහඬව සිටීම ද පාපයක් බව ය. එය පරිසර පාපය ය. න්‍ැිමි ඔදා්හ මේ කාරනා ගැන ජනතාව දැනුවත් කිරීම අගය කළ යුතු ය.

මේ අනුව න්‍ැිමි ඔදා්හ ඉකුත් පස් වසර තුළ කිතුනු ඉගැන්වීමේ අත්හැර දැමූ කොටසක් ගැන එඩිතරව කතා කරන වෙබ් ප්‍රකාශනයක් බවට පත්ව තිබේ.

ජනතාවට වඩාත් සමීප වන ක්‍රියාකාරකම් සහ උපාය මාර්ග යොදා ගනිමින් මෙම මෙහෙවර ඉදිරියට ගෙන යාමට ඊට හැකිවේවායි මේ මොහොතේ ප්‍රාර්ථනා කරමු.

 

සමන් කපිල විජේසූරිය

Comments powered by CComment