"අද ජේසු" විකල්ප වෙබ් පුවත් ලිපියක් ලෙස නොව අනිවාර්යෙන්ම තිබිය යුතු වෙබ් පුවත් ලිපියක් ලෙස මම හදුනාගෙන සිටිමි. මා සිතන පතන ලෝකය නිර්මාණය කිරීමට එය මහත්වූ දායකත්වයක් ලබා දෙයි. එනිසාම මම එය හැකි හැමවිටම කියවන්නෙමි. එසේම මෙය කියවන්නට තවත් අය යොමු කර වන්නෙමි. මේ නිසා මා ලබන පන්නරය අති මහත්ය. මෙම පුවත් ලිපිය සදහා තෝරාගනු ලබන බොහෝ ලිපිවල ඇත්තේ හුදු විරෝධාකල්ප අදහසකට හෝ මතයකට වඩා කිසියම් විවාදාත්මක අවකාශයක් නිර්මාණය කරන අදහස් ගොනුකර දැක්වීමක් බවයි මගේ අදහස.

විශේෂයෙන් දෙවන වතිකානු මන්ත්‍රණ සභාව මගින් ඉදිරියට ගෙන එනු ලැබූ කතෝලික සභාවේ සමාජ දර්ශනය සමස්ත කතෝලික ජනතාව තුලට ගෙන ඒමට "අද ජේසු " දරන උත්සාහය අගය කරමි. තරුණ තරුණියන්ගේ සිත්වල ජනිත වෙන විමුක්තිකාමී දේවධාර්මික සිතුවිලි ඉතා පරිස්සමෙන් ස්පර්ශ කරන "අද ජේසු" ඒවායේ සැබෑ බයිබලීය පදනම උලුප්පා දක්වමින් විවෘත සංවාදයක් සදහා යොමුකරවන ආකාරය මම දකිමි. මරිය මවුතුමියගේ සැබෑ මවකගේ කාර්යභාරය සහ විමුක්තිකාමී යොමුව පිලිබදව "අද ජේසු" පලකරනු ලැබූ බොහෝ ලිපි ඔස්සේ ඇය කෙරෙහි සැබෑ ආදරයක් ජනිත කරවනු ලැබූ අතර ඇය වත්මන් කාන්තාවට පහන්ටැඹක් කරවීමට සමත්වී ඇත.

එසේම වත්මන් සභා ඉගැන්වීම් තුලින් විකෘති කර ඇති බොහෝ බයිබලීය ඉගැන්වීම් එතිහාසික සත්‍ය මතුකරමින් නිවැරදිව ඉදිරිපත් කිරීමට අද ජේසු කරන මෙහෙවර අගය කල යුතුය. කතෝලික සභාවේ සුභවාදී වෙනසක් හුදු දේශීය පරිවර්තනයක් තුලින් පමණක් නොව සමස්ත සභා මාතාව තුලින්ම සිදුවිය යුතු බව “අද ජේසු” අපේක්ෂා කරන බව මම විශ්වාස කරමි.

බලවතුන් විසින් කෘතීම ලෙස නිර්මාණය කර ඇති පුවත් සහ තොරතුරු නිසා වැරදිකරුවන් බවට පත්කර ඇති පලස්තීන ජනතාවගේ සැබෑ අරගලය වෙනුවෙන් අරගල කරන මිනිසුන් සමග අත්වැල් බැදගෙන සිටින "අද ජේසු" සැමවිටම සිටින්නේ පීඩිතයා සමග බව මගේ අදහසයි. "අද ජේසු" අදත් හෙටත් පැවතිය යුතුම වෙබ් පුවත් ලිපියක් වන අතර එය ආරම්භ කල සහ මේ වනවිට පවත්වාගෙන යන සියල්ලන්ට මෙය නොකඩවා පවත්වාගෙන යාමට අවශ්‍ය සියලුම ශක්තිය ලැබේවායි පතමි.

අරුණ ශාන්ත නෝනිස් (අශාණෝ)

සංස්කාරක - සච්චං පුවත් ලිපිය

Comments powered by CComment